Tuesday, April 26, 2011

අපේ ජාතික ගුවන් සේවය

අපේ ජාතික ගුවන් සේවය
හරිත පැහැ ගැන්වෙන හැටි...


ශ්‍රී ලන්කන් ගුවන් සේවාව අපගේ ජාතික ගුවන් සේවාවයි. දකුණු ආසියාවේ පමණක්‌ නොව ආසියාකරයේද ලොව සමස්‌ත ගුවන් සේවා අතරද අභිමානවත් නමක්‌ දිනා සිටින Sri Lankan ගුවන් සේවාව පරිසර හිතකාමී, හරිත ගුවන් සේවාවක්‌ බවට පත් වූ බව අපට අසන්නට ලැබුණේ මීට ටික කලකට පෙර සිටය. ලෝකයම පරිසරය ගැන කතාකරන යුගයක පරිසර හිතකාමී භාණ්‌ඩ භාවිතය, කාබනික ආහාර පරිභෝජනය, පමණක්‌ නොව තමා විසින් හුස්‌ම ගැනීමෙන් පවා දිනකට පරිසරයට මුදාහරින කාබන් දූෂණය (Carbon Foot print) අවම කරන්නට පරිසර හිතකාමීන් කටයුතු කරන මොහොතක දැන් දැන් බොහෝ ගුවන් මගීන් තමන්ගේ ගුවන් චාරිකා සඳහා සොයායනු පෙනෙන්නේ පරිසර හිතකාමී ගුවන් සේවාය. එවන් විටෙක පරිසර සංරක්‍ෂණයේ, පරිසර සුන්දරත්වයේ සංවේදී බව මැනවින් හඳුනාගෙන සිටින ශ්‍රී ලංකාව නම් අපගේ මේ මනරම් දිවයිනේ ජාතික ගුවන් සේවාව පරිසර හිතකාමී සේවාවක්‌ බවට පත් වන්නේ නම් එය රටටම මහා ආඩම්බරයක්‌ වනුනොඅනුමානය.

එසේම ආර්ථිකමය වශයෙන් ද සුවිසල් වාසියක්‌ බවට පත්වනු ඇත. මේ පිළිබඳ තවදුරටත් කරුණු කාරණා දැනගන්නට අප මෙවර "සොබාසර" පිළිසඳර මගින් ආරාධනය කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ ප්‍රධාන විධායක නිලධාරී මනෝඡ් ගුණවර්ධන මහතාට සහ එම සමාගමේ පරිසර අංශයේ ව්‍යාපෘති භාර නිලධාරී සහ පුහුණු පාසලේ කළමනාකාර බුද්ධික හේවාවසම් මහතාටයි. මේ ඔවුන් අප හා දැක්‌වූ අදහස්‌ය.

ලෝකයේම දැන් පරිසරය රැකගැනීම පිළිබඳ සුවිසල් ආකල්පමය වෙනසක්‌ ඇතිවී තිබෙනවා. විශේෂයෙන්ම යුරෝපයේ සහ අනෙකුත් දියුණු රටවල පරිසර හිතකාමී පිරිස්‌වල වැඩිවීමක්‌ දකින්න පුළුවන්. ඔවුන්ගේ සිතිවිල්ලත්, පරිසර හිතකාමී කියන මතවාදයත් සමග ගුවන් සේවාවන් පරිසර හිතකාමී විදිහට කටයුතු කළ යුතුය යන ආකල්පයක්‌ ඇති වී තිබෙනවා. කෙටියෙන්ම කීවොත් අපගේ (Sri Lankan Air Line) ගනුදෙනුකරුවන්ගෙන් (ගුවන් මගීන්ගෙන්) වැඩි දෙනෙක්‌ පරිසර හිතකාමීන්. ඔවුන් අපගෙන් පරිසර හිතකාමී සේවාවක්‌ බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට එන විදෙස්‌ සංචාරකයන්ගෙන් වැඩිදෙනා හොඳ ඉගෙනීමක්‌ තියෙන, හොඳ රැකියා කරන, මධ්‍යම මට්‌ටමේ ජීවන තත්ත්වයක්‌ ඇති හොඳ සිතිවිලි හා අදහස්‌ ඇති අය ලෙසයි අප හඳුනාගෙන තියෙන්නේ. ඒ අය පරිසරයට විශාල සංවේදී බවක්‌ දක්‌වනවා. ඒ නිසා එක පැත්තකින් අපි ඒ පිළිබඳ සලකා බලා පරිසර හිතකාමීන් විය යුතුයි.

ප්‍රධාන විධායක නිලධාරී මනෝඡ් ගුණවර්ධන මහතා කියන පරිදි ශ්‍රී ලන්කන් ගුවන් සේවාව පරිසර හිතකාමී සේවාවක්‌ බවට පත්කිරීම සඳහා ප්‍රධාන අවශ්‍යතාවන් තුනක්‌ මතු වූ බව හෙතෙම සඳහන් කරයි. ඒවානම්,

අනාගතයේදී පරිසරය සංරක්‍ෂණය සඳහා පැනවෙන නීති රීතිවලට අනුගත වීමක්‌ වශයෙන් තම සේවාව පරිසර හිතකාමී වීම ඉන් පළමුවැන්නයි.

දෙවැන්න නම්, තම ගුවන් සේවාවේ වෙළෙඳ පොළ නොහොත් ගනුදෙනු කරුවන්වන ගුවන් මගීන්ගේ සිතිවිලිවලට අනුගත වීමට අවශ්‍ය නිසා තම සේවාව පරිසර හිතකාමී වීමයි.

තෙවැන්න නොහොත් අවසන් කරුණ ලෙස ඔහු පවසන්නේ ගුවන් සේවා සමාගමේ ආර්ථික පසුබිම සැකසීම සඳහා සම්පත් අඩුවෙන් වැයකොට පිරිමැසුම් දායක මෙන්ම වියදම් අඩුවෙන් සිදුකර වැඩි ආදායමක්‌ ලබාගැනීම වෙනුවෙන් පරිසර හිතකාමී වීමත්ය. එනම් සරළ ආකාරයකින් කිවහොත් එය ඉන්ධන පිරිමැස්‌ම සඳහා කටයුතු කිරීමත් ඒ සඳහා නිදසුනකි.

මනෝඡ් ගුණවර්ධන මහතා ඉහත කරුණු තවදුරටත් පැහැදිලි කරන්නේ මේ අයුරිනි.

ඉහත කාරණා තුන යටතේ පරිසර හිතකාමී වීම අද ගුවන් සේවාවකට අත්‍යවශ්‍යම දෙයක්‌. පළමු කාරණය වන නෛතික වශයෙන් ගත්තොත් 2012 වසරේ සිට යුරෝපයේ කාබන් විමෝචනය පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැඟෙනවා. එතකොට යුරෝපයට ගුවන් සේවා සපයන ගුවන් සේවාවලට එය සෘජුවම බලපානවා. තමන්ට දී ඇති ප්‍රමාණයන්ට වඩා කාබන් විමෝචනය කළහොත් ඒ සඳහා එහිදී ගෙවීමක්‌ සිදු කළ යුතු වෙනවා.

තව, ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානය මගිනුත් එකඟතා ප්‍රඥප්තියක්‌ ඉදිරිපත් කරල තියෙනවා 2020 වන විට ගුවන් යානාවලින් විමෝචනය වන කාබන් ප්‍රමාණය 50% කින් අඩු කරන්නත්, 2050 වන විට කාබන් විමෝචනය ශුන්‍ය කරන්නත්. මේක ස්‌වේච්ඡාවෙන් කරන දෙයක්‌ මිස නීතිමය බලකිරීමක්‌ නෙමෙයි. ඉතින් ජාත්‍යන්තර ගුවන් සේවාවේ යෙදෙන වාණිජ ගුවන් සේවාවක්‌ ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවාව දැනටමත් ස්‌වේච්ඡාවෙන් එම සම්මුතියට එළැඹිලා ඊට එකඟතාව ප්‍රකාශ කරල තියෙනවා.

දෙවැනි කරුණ අනුව අපගේ ගනුදෙනුකරුවන් බොහෝ දෙනා පරිසර සංවේදී පුද්ගලයන් නිසා එයාල පරිසර හිතකාමී ගුවන් සේවාවකට තමයි ප්‍රමුඛතාව දෙන්නේ. ඒ ගැන ඉල්ලා සිටිනවා. සොයා බලනවා. විවේචන සහ යෝජනා ලබාදෙනවා. ඉතින් ඒ ගැන අපි විශේෂ සංවේදී බවකින් හොයා බලනවා.

තෙවැනි කරුණ අනුව බලන්න, අද තෙල් බැරලයේ මිල ශීඝ්‍රයෙන් ඉහළ යනවා. දැන් ඩොලර් 100 කටත් වඩා වැඩියි. ඩොලරයකින් තෙල් බැරලයක්‌ ඉහළ ගියොත් ගුවන් සේවාවකට එය ඩොලර් මිලියන ගණනක අතිරේක පිරිවැයක්‌. ඇත්තටම පාඩුවක්‌. ලාභ අඩුවීමක්‌.

ඒ නිසා ඉන්ධන සුරක්‍ෂිත කිරීමේ ක්‍රියාමාර්ග ඉබේටම ගත යුතු වෙනවා. අපගේ ගුවන් සේවා ආයතනය පසුගිය කාලයේ ජාත්‍යන්තර මට්‌ටමේ නිලධාරීන් යොදවා විශේෂ විගණනයක්‌ සිදු කළා. ඒ අනුව තීරණය වුණේ ඉන්ධන සුරක්‍ෂිත කරන ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කිරීමයි. ඉතා සුළු දේට පවා අපි එය අනුගත කළා. ගුවන් යානය සේදීමට, ගුවන් යානය පැදවීමට, ගුවන් යානය තුළ ගෙනයන ද්‍රව්‍යවල බර අඩුකිරීමට (සැහැල්ලු කිරීමට) වගේම ගුවන් යානය භූගතව තිබෙද්දී පාවිච්චියට ගන්නා බලශක්‌තිය ඉන්ධනවලින් සිදු නොකර භෞමික බලශක්‌තිය ඊට භාවිත කරනවා. එනම්, බොහෝ ගුවන් සේවා භූගතව තිබියදී වායුසමීකරණ පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ යානයේ එන්ජිම මගින් වුවත් අපේ ගුවන් යානා හැකි සෑම අවස්‌ථාවකදීම ඒ සඳහා භෞමික විදුලිය (Ground Power) භාවිතයට ගන්නවා. එය එතරම් කාර්යක්‍ෂම නොවුණත් බලශක්‌තිය සුරක්‍ෂිත අතින් ඉතා කාර්යක්‍ෂමයි.

ඒ වගේම ගුවන් යානය ඇතුළත අපද්‍රව්‍ය වෙන් කිරීම, ගුවන් යානය තුළ භාවිත කරන සියලු දේ පවා ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි දේවල් බවට අප සහතික කරනවා. මෙහිදී ආර්ථික වාසි තිබෙනවා. ඒ වගේම ආර්ථිකව වාසි නැති අවස්‌ථාත් තිබෙනවා. උදාහරණයක්‌ ලෙස ගතහොත් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි භාණ්‌ඩ මිල අධිකයි. ඒත් පරිසර සංවේදීභාවය සඳහා එය අප සිදුකළ යුතුයි. එය අපේ ප්‍රතිපත්තියයි.

මනෝඡ් ගුණවර්ධන මහතා සහ බුද්ධික හේවාවසම් යන මහත්වරු මෙහිදී තවත් වැදගත් කාරණාවක්‌ ද අපගේ පිළිසඳරේදී හෙළිදරව් කළහ. ඒ මෙසේය.

අපගේ ගනුදෙනුකරුවන් පරිසර හිතකාමී ලෙස පරිසර සංවේදී ලෙස අප සමග කටයුතු කළත්, එසේ ඔවුන් අප සමග ගනුදෙනු කිරීම අඩුයි.

ඒ කියන්නේ බොහෝ දියුණු රටවල ගුවන් සේවාවකින් මගියෙක්‌ ගුවන් ටිකට්‌පතක්‌ ගත්තොත් ඒ මගියාට අවස්‌ථාව ලැබෙනවා. තමන් ගමන් ගන්නා ගුවන් ගමනෙන් ඇතිවන කාබන් විමෝචනය වෙනුවෙන් මුදලක්‌ ආපසු ලබාගන්න. මෙය කාබන් වෙළෙ¹මේ (Carbon Trade) එක්‌ අංගයක්‌. මේ ක්‍රමවේදය අපිත් ළඟදීම ක්‍රියාත්මක කරන්න තීරණය කරල තියෙනවා. ඒ කියන්නෙ Carbon foot print එක අඩුකරන්නයි එය සිදුකරන්නේ. අපි එම කටයුත්තට වහාම මුල් තැන දී ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තවත් වැදගත් පාරිසරික ව්‍යාපෘතියක්‌ අපි ක්‍රියාත්මක කරන්න අධ්‍යයනය කරගෙන යනවා.

මන්ද 2012 ට පෙර අප කාබන් විණිමය හා සම්බන්ධ වන ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. මේ ව්‍යාපෘති දෙක තමයි අපි ගනුදෙනුකරුවන් හා සෘජුවම සම්බන්ධ වෙන්නට දැන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග. 

බුද්ධික හේවාවසම් මහතා මෙම කාබන් විණිමය ව්‍යාපෘතිය පිළිබඳ අදහස්‌ දැක්‌වූයේ මෙලෙසය. 

කොහොම වුණත් අපේ ගුවන් සමාගම රජයට සම්බන්ධ ආයතනයක්‌ බැවින් මේ කාබන් විණිමය පිළිබඳ ව්‍යාපෘතිය රජයට සම්බන්ධ වනාන්තරය සුරකින ආයතනයක්‌ හා එක්‌ව කටයුතු කිරීමටයි ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයකට ඇවිත් ඉන්නෙ.

ශ්‍රී ලංකා කාබන් පදනම නම් ආයතනය හෝ ජල විදුලිබල ව්‍යාපෘති එසේත් නැතිනම් නැවත වන වගා ව්‍යාපෘති කෙරෙහි අප අවධානය යොමු කොට තිබෙනවා. නමුත් දැනට කාබන් විණිමය පිළිබඳ ජාත්‍යන්තර තත්ත්ව පාලනයක්‌ සහිත ආයතන ව්‍යqහයක්‌ රට තුළ නොමැතිවීම අඩුපාඩුවක්‌ ලෙස අපි දකිනවා. මෙම ආයතන ව්‍යqහය යුරෝපා සංගමයේ විගණනයන්ට යටත් විය යුතුයි. කෙසේ වුවත් මේ කාරණා පිළිබඳ අප සක්‍රීයව කටයුතු කරනවා යෑයි බුද්ධික මහතා පවසයි. මනෝඡ්ගුණවර්ධන මහතා තවදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේද පවසයි.

ගුවන් සේවාවක්‌ හැටියට පරිසරයට සක්‍රීයව දායක විය හැකි තවත් පැත්තක්‌ තියෙනවා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සමහර ගුවන් සේවාවන්ට වගේ. අපේ ගුවන් සේවය එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් හැරෙන්නට විශේෂයෙන්ම සේවාව සපයන්නේ ශ්‍රී ලංකාවේ පරිසරයට ඇලුම් කරන, මෙහි සුන්දරත්වය විඳින්නට එන සංචාරකයන්ට. ඉතින් ඒ කාරණයම විටෙක අපට ප්‍රමාණවත් හරිත ගුවන් සේවාවක්‌ පවත්වාගෙන යන්නට. ඒ නිසාම අපට අපේ පරිසරය සුරකින ව්‍යාපෘති සඳහා දායකත්වය ලබාදීමේ සෘජු හෝ වක්‍ර වගකීමක්‌ තිබෙනවා. ඒ වගේම අපට එයින් ප්‍රතිලාභත් තිබෙනවා. ඇත්තටම අපේ රටට එන සංචාරකයන් අතරින් පාරිසරික සංචාරකයන් බහුල නිසා අපි පරිසරය සුරැකිය යුතුයි. නිදසුනක්‌ සේ ගත්තොත් සෑම වසරකම අපි අරුගම්බේ සිට නැගෙනහිර වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට අනුග්‍රහය දක්‌වන්නේ ඒ නිසයි. එය අපට සෘජුවම බලපානවා. ඒ වගේම අප ආයතනය පාරිසරික වශයෙන් කරන ව්‍යාපෘති, උපදේශන සේවාවන් සඳහා විද්වතුන් ලංකාවට ගෙන එන්නට නොමිලේ ගුවන් ප්‍රවේශපත් ලබාදී තිබෙනවා.

වැසි වනාන්තර සුරැකීමේ සංවිධානය වාර්ෂිකව කන්නෙළිය ප්‍රදේශයේ සංවිධානය කරන වැඩමුළු සඳහා අපි මෙවන් දායකත්වයක්‌ ලබා දෙනවා.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...