Friday, April 22, 2011

Challenges

සිනමා ශාලා වෙතින් ඉවත්වූ, සිනමා ශාලා කරා නොඑන, සිනමා ශාලා ප්‍රතික්‌ෂේප කරන නාගරික සංකල්ප හා බැඳෙන තරුණ ප්‍රජාව මේ සිනමාපට අරබයා දැක්‌වූ ප්‍රතිචාර අයහපත් නොවේ. මෙහිලා වැඩිපුරම කැපී පෙනෙන සිනමාකරුවා වන්නේ උදයකාන්ත වර්ණසූරියයි.
උදයකාන්තගේ අලුත්ම සිනමා පටය වන "චැලෙන්ජස්‌" එබඳුම සිනමා පටයකි.

"චැලෙන්ජස්‌" හුදු තරුණ වියම පාදක කර ගත් පෙම් පුවතකින් සමන්විත නොවන බව පැහැදිලිය. උදයකාන්ත තරුණ වියේ පෙම් පලහිලව්වකට මවුපිය - දූ දරු සෙනෙහස, මිත්‍රත්වය ආදී කාරණාද එක්‌කාසු කරයි. විශේෂයෙන්ම අවධාරණය කෙරෙන්නේ පිය පුතු සබඳතාය. ධෛර්යය සම්පන්න බවය.

සිනමාපටය මුළුමනින්ම නාගරික ඉහළ පංතික, ඉහළ මැද පංතික තාරුණ්‍යයේ දෘශ්‍යමාන චමත්කාරය රසිකයා කරා ගෙන එයි. එක අතකට මේ සිනමා ලෝලී බහුතරයකගේ පරමාදර්ශී ජීවිතයයි. එය සාක්‌ෂාත් කර ගත නොහැකි බව ඔවුහු දනිති. එහෙත් මෙබඳු ස්‌වප්තයක ඇලී ගැලී සිටීමේ ආස්‌වාදය ප්‍රතික්‌ෂේප කරන්නට ඔවුන් සූදානම් නැත.

උදයකාන්ත මෙතැනදී සහාය පළ කරන පාර්ශ්ව දෙකකි. පළමුවැන්න දෙබස්‌ රචනයයි. දෙවැන්න පුබුදු චතුරංගගේ රංගනයයි.

දෙබස්‌ රචනා වී ඇත්තේ බොහෝ විට නාගරික සිතුම් පැතුම් හා බැඳුණු තරුණයන්ගේ දෘෂ්ටි කෝණයෙනි. ඒවා ඔවුන් විසින් නිතිපතා වහරනු ලබන වදන්වලින්, යෙදුම්වලින් සමන්විතය. එය තරුණයන් ආකර්ශණය කරගැනීමට පිටිවහලක්‌ වේ. මේ තමන්ගේ ජීවිතයට කිට්‌ටු සිනමාපටයක්‌ යෑයි සිතන්නට ඔවුහු යම් වෑයමක්‌ දරති. පමණට වඩා වැඩි යෑයි වරෙක සිතුණද සිනමා පටයේ අවසානයේ දක්‌වාම ඔවුන්ව රැගෙන යන්නට මේ දෙබස්‌ උපකාරී වෙයි.

පුබුදු චතුරංග අද වන විට ලාංකික විනෝදාත්මක සිනමාව සතු දීප්තිsමත්ම තාරකාවක්‌ බව පැහැදිලිය. කෙසේ වුවද "මචං" සිනමාපටයේදී ඔහුගේ රංගන කාර්යය පැවැසුවේ අන් කරුණකි. එනම් තාරුණ්‍යයේ ජවසම්පන්න බව ප්‍රතිනිර්මාණය කරන්නට ඔහු සතුව හැකියාවක්‌ ඇති බවයි. විනෝදාත්මක සිනමාව තුළ ඔහුගේ දායකත්වය නැවුම්ය. සිත්ඇදගන්නා සුලුය.

"චැලෙන්ජස්‌" හිදී පුබුදු ගේ රංගනයට වැඩි අගයක්‌ ලබා දෙන්නේ ලකී ඩයස්‌ හා වසන්ති චතුරාණි ය. පුබුදු සමකාලීන සිනමා තාරකාද, තාරකාවියන්ද පසුකර යන්නට සමත්ව ඇති බවට මෙය හොඳම සාක්‌ෂියකි.

උදයකාන්තට අභියෝග කරන අවස්‌ථාද මෙහිලා සඳහන් කිරීම වටී. ඉන් මුල් තැනක්‌ ගත්තේ තරුණියක දිනාගැනීම අරබයා තරුණයන් දෙදෙනකු අතර ඇතිවන තරග අවස්‌ථා සඳහා වැඩි ඉඩක්‌ වෙන්කොට දී තිබීමයි. සමහරවිට එය දනවන්නේ යම් වෙහෙසකර බවකි.

ඔවුනZතර අවසන් තරගය බිහිසුණුය. එහෙත් ඔවුන් සමීපයේ හුන් වැඩිහිටියන් කිසිවකුත් එතැන නැත. එය එක්‌තරා අඩුවක්‌ සේ පෙනී යාමේ ඉඩක්‌ පවතී. සිනමා පටයේ අවසානය විටෙක තරුණ රසිකයා අන්දමන්ද කරයි. තරුණිය හිමිවන්නේ කවර තරුණයාටදැයි යන්න ගැටලුවකි. උදයකාන්ත වුවමනාවෙන්මයි මේ දෝලනය වීමට ඉඩ හසර විවර කරන්නේ . රසිකයාගේ අරමුණ උද්වේගතර අවසානයකි. උදයකාන්ත එය පිය පුතු සෙනෙහස වෑහෙන භාවාතිශය අවස්‌ථාවක්‌ කර ගෙන එයි.

"චැලෙන්ජස්‌" ඇතුළු එබඳු සිනමාවට තරුණයන් සිනමා ශාලා කරා කැඳවාගෙන ඒම පිණිස ඉටුකරලන කාර්යභාරය ගැන නිසි තක්‌සේරුවක්‌ කිරීමට මේ මොහොතේදී වුව පුළුවන. ඇතැම් විට රසික ජීවිත පරිඥානය පොහොසත් කරවන කලාත්මක ගුණාංග මුල්කරගත් සිනමාපට එතැනට එලෙසින්ම නොඑන්නටද ඉඩ තිබේ. එහෙයින්ම අද දවසේ උදයකාන්ත මෙසේ ඉටුකරන කටයුත්ත නිවැරැදිව දැකීම ඔහුටද, ලාංකික සිනමාවේ කර්මාන්තමය පදනමටද සාධාරණය ඉටුකිරීමකි.


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...