පාපන්දුවේ දැල රකින්නකු, ක්‍රිකට් පිටියේ කඩුලු රකින්නකු බවට පරිවර්තනය වී සමස්‌ත ක්‍රිකට් ලොවම ආක්‍රමණය කිරීම මොනතරම් පෙරළියක්‌ද?
හිමාල කඳු පාමුල ඈත ගමක, පොළොව සමග ඔට්‌ටුවී ජීවිකාව ගෙවූ ගොවියකුගේ පුතකු, එම පරාජයේම අතුරු පලයක් ලෙසින් සමස්‌ත ක්‍රිකට් ලෝකය සමග ඔට්‌ටුවී ජයගැනීම මොන තරම් පුදුමයක්‌ද?
බසයක් හෝ නොදුවන දුෂ්කර ගම්මානයක විසූ මිනිසකුට දාව ඉපදුන මොහු අද වන විට ලොව වැඩිම ධනයක් උපයන ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමම මොනතරම් භාග්‍යයක්‌ද?
දෛවය යන්නට මෙයට වඩා ගැලපෙන උදාහරණයක් තිබේද?
මේ ලියවෙන්නේ දෝනිගේ ජීවිත කථාවයි. පන්දු වාර 20, එක්‌දින ජාත්‍යන්තර සහ ටෙස්‌ට් යන ක්‍රිකට් පිටියේ සියලු අංශවල අංක 1 ඉන්දියාවට හිමිකරදෙමින් ඉන්දියාව යනු ක්‍රිකට් පිටියේ මහා බලවතා බවට පත්කිරීමට නායකත්වය දුන් මහේන්ද්‍ර සිං දෝනිගේ (බොලිවුඩ් චිත්‍රපටයක් වන්) ජීවිත කථාවයි.
සුන්දර හිමාලය පාමුල පිහිටි තලාසාලම් නමැති ගම්මානයද ඉතා සුන්දරය. එහෙත් එහි වෙසෙන මිනිසුන්ගේ අන්දරය සුන්දර නැත. ඉන්දියාවේ ඈත එපිට දිස්‌ත්‍රික්‌කයක් වූ අල්මෝරාහි මධ්‍ය නගරයේ සිට සැතපුම් 15 ක් පමණ ඈතින් පිහිටි මෙම ගම්මානයට මේ මෑතක් වන තුරුම කිසිදු ප්‍රවාහන පහසුකමක් නොවීය. ගම්මුන් නගරයට පැමිණියේ පාගමනින්ය. මේ ගමේ එදත් අදත් අතර වෙනස ගමට යැමට බසයක් තිබීම පමණි. ඒ හැර අන් සියල්ල එදා- අද කියා වෙනසක් නැත.
පෑන් සිං යනු මේ දුෂ්කර ගම්මානයේ උපන්නෙකි. ඔහුගේ ජීවිකාව ගොවිතැන විය. එහෙත් ගොවිකම ඔහුට ජීවිතය දිනන්නට තරම් ශක්‌තියක් ලබා නොදුන්නේය. හේ ගොවිකමින් පැරදිනි. ජීවිතය දිනනු පිණිස ඔහු පරාජිත ගොවිකමට සමුදුන්නේය. ඒ 1964 අවුරුද්දයි. ඔහු අස්‌වැන්නක් පතන ගොවියෙකුගේ භූමිකාවෙන් මිදී, වැටුපක් පතන සේවකයකු බවට පත්වීමේ අටියෙන් ලක්‌නව් වෙත ගියේය. එහෙත් උගතකු නොවූ ඔහුට පඩි කනZ රැකියාවක් සොයාගැනීම උගහට විය. අනතුරුව හේ බොකාරා වෙත ගියේය. එයද නිෂ්ඵල ගමනක් විණි. උත්සාහය අත් නොහැරි පෑන් සිං පසුව රාන්චි වෙත ගියේය. උත්සාහවන්තයා එහිදී ජයගත්තේය. හින්දුස්‌ථාන් වානේ අධිකාරියේ අනියම් සේවකයකු ලෙසින් රැකියාව ලැබීමට ඔහුට හැකියාව ලැබිණි. හෙතෙම දැඩි කැපවීමෙන් යුත් සේවකයකු විය. එම කැපවීමට අඛණ්‌ඩව ඇගයීම් හිමිවිය. පළමු ඇගයීම ලෙසින් ඔහු ස්‌ථිර සේවකයකු බවට පත්විය. අනතුරුව උසස්‌වීම් වලින් ඇගයීමට ලක්‌වූ ඔහු විශ්‍රාම ගත්තේ වැඩ පරීක්‍ෂකවරයකු ලෙසිනි.
රාන්චි වෙත පැමිණි ගමන ඔහුට හිමිකර දුන්නේ රස්‌සාවක් පමණක් නොවේ. පරස්‌තාවද ඔහුට උදාකර දුන්නේ ඒ ගමනයි. දේවකී දේවී නම් ඇය ඔහුට රාන්චි හිදී හමුවුවත් ඇයද රාන්චි හී උපන්නියක නොවේ. නියිනිතාල් දිස්‌ත්‍රික්‌කයේ උපන් ඇය රාන්චි වෙත පැමිණෙන්නේ 1969 දීය. කෙසේ නමුත් බඹා කොටා තිබූ අයුරින් ඇය ඔහුට හමුවී අවසන දේවකී දේවි, දේවකී සිං බවට පත්වූවාය. අදත් මෙම යුවළ ජීවත්වන්නේ රාන්aචි හීය. එහි දොරානා නම් නගරයේ කොළණියක විශ්‍රාම සුවයෙන් පසුවන මෙම දෙදෙනාට දරුවන් තිදෙනෙකි. දෙදෙනකු පුතුන්ය. ජයන්ති නම් දියණිය ඉංග්‍රීසි බස උගන්නව ගුරුවරියකි. වැඩිමහල් පුතු නරේන්ද්‍ර අදට ද පියාගේ උපන් ගම වන අල්මෝරාහි ජීවත් වේ. මේ පවුලේ බඩපිස්‌සා කව්ද? අද මේ සටහනේ පෑන් සිං සහ දේවකී ගැන කියවෙන්නේ ඔහු නිසාය. ඔහු ක්‍රිකට් ලොව දිග්විජය කළ නායකයාය. ඉන්දියාවෙන් බිහිවූ සාර්ථකම ක්‍රිකට් නායකයාය. ඒ මහේන්ද්‍ර සිං දෝනිය.
1971 ජුලි මස 28 වැනිදා උපන් ඔහු වයස අවුරුදු 30 ක් සපිරීමට මත්තෙන් සිය මව්බිමට ලෝක කුසලාන 2 ක් (පන්දු වාර 20 සහ එක්‌දින) සමගින් ජයග්‍රාහී ක්‍රිකට් යුගයක පෙරගමන්කරු වී සිටින්නේය.
අද මුළු ලොවම ඔහුව දෝනි ලෙසින් හැඳින්වුවද එදා ඔහුගේ නම මාහී විය. ඒ නෑදෑ හිතවතුන් ඔහුව හැඳින්වූ සුරතල් නාමයයි. එදා ඔහුව පිරිස අතර ප්‍රසිද්ධ වූයේ ක්‍රීඩකයකු ලෙසින් නොවේ. කිරිබද්දකු ලෙසිනි. ඔහු එළකිරි බීමට ඇබ්බැහිවී සිටියේය. දිනකට එළකිරි ලීටරයකට වඩා තනියම වගකීමට හේ රුසියෙක් විය.
වයස අවුරුදු 6 ක් වීමටත් පෙර දෝනිට ක්‍රිකට් ගැන උනන්දුවක් තිබිණි. එහෙත් දෝනි පළමුව අතට ගත්තේ ක්‍රිකට් පිත්ත නොව, බැඩ්මින්ටන් පිත්තයි. එය ක්‍රීඩාවක් ලෙසින් දෝනිගේ පළමු තේරීම විය. එහෙත් දෝනිට ඉන් කිසිදු අයුරක සැලකිය යුතු දුරක් යැමට නොහැකි විණි. පාසලේ කණ්‌ඩායමට සුදුස්‌සකු වීමට තරම්වත් ඔහුගේ බැඩ්මින්ටන් දක්‍ෂතා ප්‍රමාණවත් නොවීය. ඔහු බැඩ්මින්ටන් ක්‍රීඩාව අතහැර දැම්මේය. පුදුමය නම් දෝනිගේ මීළඟ තේරීමද ක්‍රිකට් නොවීමයි. දෝනිගේ දෙවැනි තේරීම වූයේ පාපන්දුවයි. ඒ සමගින්ම ඔහු මේස පන්දු ක්‍රීඩාවද කළේය. පන්දුවට පහරදෙන තවත් ක්‍රීඩාවක් වන හොකී ක්‍රීඩාවටද යොමු වුණේය.
එහෙත් ඔහු අන් සියල්ලට වඩා රුචි වූයේ පාපන්දු ක්‍රීඩාවේ දැල රකින්නාගේ තැනටය.
අවම වශයෙන් දෝනි පාසල් නිවාඩු කාලයටවත් ක්‍රිකට් ගැසුවේ නැත.
ඔහු කළේ ගමේ කොල්ලන් කුරුට්‌ටන් සමග පිල් බෙදී පාපන්දු ගැසීමයි. තම නිවස අසලම ක්‍රීඩා පිටියක් තිබීමෙන් දෝනිගේ කුඩා සමයේ වැඩි කාලයක් එහි ගතවිය. ඔහු ඉතාම ක්‍රියාශීලී දරුවකු විය. විවේක දින වලදී උදේ පටන් ගත් විට රැය උදාවන තුරු ඔහු කාලය ගෙවනු ලැබුයේ එම පිටියේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙනි. තම පුතු මේ අයුරින් ක්‍රීඩා කරනු දේවකී නිවසේ සිට දැක්‌කාය. එහෙත් තවත් දශකයක ඇවෑමෙන් ක්‍රිකට් නම් ක්‍රීඩාවෙන් රූපවාහිනී තිරයේ තම පුතුගේ දස්‌කම් දැකගත හැකිවනු ඇතැයි එදා දේවකී සිහිනෙකුදු නොසිතුවාය.
එහෙත් ඒ වන විට දෝනි ඉගෙනුම ලැබූ ඩී.ඒ.වී. පාසලේ ක්‍රිකට් කණ්‌ඩායමට කඩුලු රකින්නකුගේ අවශ්‍යතාවක් මතුවීම සමස්‌ත ක්‍රිකට් ලොවටම බලපාන දෛවෝපගත සිදුවීමකට මගපාදන ලදී.
මහේන්ද්‍ර සිං දෝනි නමැති ක්‍රිකට් ලොවම හඳුනන චරිතයක් බිහිවීමේ පළමු ගෞරවය හිමිවන්නේ ඔහුගේ පාසලේ ක්‍රීඩා ගුරුවරයා වූ බෙනාර් මහතාටය. තම ක්‍රිකට් කණ්‌ඩායමට දක්‍ෂ කඩුලු රකින්නකු තෝරාගැනීම ගැන විමසිල්ලෙන් සිටි බෙනාර් මහතා දෝනි නමැති දැල රකින්නා අපූරුවට එම කාර්යයේ යෙදෙන අයුරු හොඳින් නිරීක්‍ෂණය කළේය. තමා සිතූ කඩුලු රකින්නා මොහුම වෙතැයි සිතූ ක්‍රීඩා ගුරුවරයා දෝනිට ක්‍රිකට් ක්‍රීඩාවට ආරාධනා කළේය. තමා මේ බිහිකරන්නේ ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ දක්‍ෂතම කඩුලු රකින්නා යෑයි ඔහු කිසිවිටෙක නොසිතන්නට ඇත. එහෙත් බෙනර් මහතාටද අදහාගත නොහැකි අයුරින් දෝනි කඩුලු රැකීමේ දස්‌කම් පමණක් නොව දක්‍ෂ පිතිකරුවකුගේ දස්‌කම්ද විදහා දක්‌වන ලදී. එය කෙතරම් ශීඝ්‍ර ක්‍රිකට් ගමනක්‌ද යත්, පාසලේ හත අට පන්තිවල සිටින විට එම ප්‍රදේශයේම අංක එකේ පිතිකරු වූයේ දෝනිය. ඒ පිතිහරඹයේ පුදුම ජවයක් තිබිණි. හයේ හතරේ පහර වලින් අඩුවක් නොවිණි. එය නැරඹීම ක්‍රිකට් ලෝලින්ට නොමද ආශ්වාදයක් විය.
තම නිවස අසල පිටියේ තම පුතු එදා පාපන්දු ක්‍රීඩා කරද්දී ඒ දෙස උනන්දුවෙන් බලාසිටි කිසිවකු නොවීය. මෙදා ඔහු එහි ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන විට ඔහුගේ පිතිහරඹය නැරඹීමට සෙනග රැස්‌වන අයුරු දේවකී දුටුවාය. ඇය සුබ අනාගතයක නිමිති දුටුවාය.
0 comments:
Post a Comment