Tuesday, March 22, 2011

මගේ කේන්දරේ තියෙනවා විවාහය ප්‍රමාදයි කියලා ...

Damitha
සබෑ ජීවිතයේදීත් මා පෙම්වතියක්‌
දමිතා අබේරත්නය

විටෙක ඇය රඟන්නීය. තවත් මොහොතක නටන්නීය. එසැණින් ගයන්නීය. ඇය අප බොහෝ දෙනෙක්‌ දන්නා හඳුනන දමිතා අබේරත්නය. පසුගිය කාලය පුරාවට බොහෝ දෙනෙක්‌ ඇය ගැන කතා බහ කළා. ඒ රියෑලිටි වේදිකාවට ගොඩවීමත් සමගය. නමුත් අද දවසේ ඇය අපට දකින්නට ලැබෙන්නේ ස්‌වයංජාත ටෙලි නිර්මාණයේ දක්‌වන රංගනයත් සමගිනි. කලා හැකියාවන්ගෙන් පිරිපුන් දමිතාගේ ජීවන දර්ශනය කෙසේද? මේ කතාබහ ඒ නිමිත්තෙනි.

  • දමිතා ඔබ පසුගිය කාලය පුරා කතාබහට ලක්‌වුණු චරිතයක්‌. ඇයි මේ දවස්‌වල වැඩි කතා බහක්‌ නැත්තේ ?
 නිහඬ වෙලා නම් නෙවෙයි. තෝරාගෙන කියල කරන්න නිර්මාණ ලැබෙන්නේ නැහැ. ක්‍ෂේත්‍රය පැත්තෙන් බලද්දී නම් සෑහෙන කලකිරීමෙන් ඉන්නේ. මොකද රඟපාන්න යද්දී දියුණු තාක්‍ෂණය නිසා මගේ පැත්තේ රූගත කිරීම් කරනවා අනෙක්‌ පැත්තේ ඉන්න ශිල්පියාවත් දන්නේ නැති විදිහට. කලාවට විය යුත්තේ මෙයද කියලත් වෙලාවකට හිතෙනවා. එහෙම හිතෙද්දී අපි කරපු කලාව සහ දන්න කලාවද දැන් තියෙන්නේ කියල හිතෙනවා.


  • රියෑලිටි වැඩසටහන්වලට ගොඩවීමත් සමග ඔබේ කලා ජීවිතයට යම් හානියක්‌ වුණා කිව්වොත් ?
 අනිවාර්යයෙන්ම. මොකද රියෑලිටි වැඩසටහන් හරියට කරපු නාලිකා තිබෙනවා. ඔවුන්ට පහර ගැසිය යුතු නැහැ. නළු නිළියන්ගේ අගය දන්නේ නැතිව රියෑලිටි වැඩසටහන් කරපු පුද්ගලයන්ට පසුගිය කාලයේ ජනතාවගෙන් පිළිතුරු ලැබුණා.


  • ජනප්‍රියත්වයට වඩා දක්‍ෂතාවයෙන් ඉදිරියෙන් ඉන්න දමිතා තවත් ජනප්‍රියත්වයක්‌ සොයන්න ගිහින් නේද මේ විදිහට හෑල්ලුවට ලක්‌වුණේ ?
ජනප්‍රියත්වය සොයගෙන යන්න මට වුවමනා වුණේ නැහැ. ගීත ගැයීමේ අභියෝගය භාරගන්නයි මට වුවමනා වුණේ. අනික කලාකරුවන් සමග තිබෙන තරගයක්‌ නිසයි සහභාගි වුණේ. අන්තිමේ ඔවුන් සඳහන් කළ කිසි දෙයක්‌ වැඩසටහන පුරාවට සිද්ධ වුණේ නැහැ. තවමත් ඔවුන් මට ලබාදෙනවා කියූ කිසිදෙයක්‌ දුන්නේ නැහැ.

  • අද දවසේ මොනවගේ නිර්මාණවලටද දායක වෙලා ඉන්නේ ?
මේ දවස්‌වල එහෙම විශේෂයක්‌ කියලා නිර්මාණයකට සම්බන්ධවෙලා නැහැ.

  • ඒ කියන්නේ ඔබට නිර්මාණ ලැබෙන්නේ අඩුවෙන් කියලද?
පෞද්ගලිකව මට එය බලපාල තිබෙනවා. මොකද මම හොඳ නිර්මාණ පිපාසයකින් සිටින නිළියක්‌. අපි දක්‍ෂයි කියලා හිතාගෙන ඉන්න ශිල්පීන් ගොඩ දෙනෙක්‌ට මේ තත්ත්වය උදාවෙලා කියලයි මට හිතෙන්නේ. සමහරු මේ ගැන පත්තරවලට කියනවටත් විරුද්ධයි.

  • හරවත් නිර්මාණ බිහිනොවීම ගැන ඔබ මොකද හිතන්නේ ?
මටත් හිතාගන්න බැරිව තමයි ඉන්නේ. සමහර වෙලාවට හිතෙනවා මෙගා ටෙලි නාට්‍ය දිගටම බිහිවීම නිසා ඇතිවුණ තත්ත්වයක්‌ කියල හැබැයි මම මෙගා විරොAධී කෙනෙක්‌ නම් නොවෙයි. මම කොහෙවත් කියලා නැහැ මෙගා නාට්‍ය හැදෙන එක හොඳ නැහැ කියලා. මෙගා වලත් කොටස්‌වල සීමාවක්‌ තිබිය යුතුයි.

  • මේ තත්ත්වයත් සමග නිළි වෘත්තිය ඔබට පෑහෙනවා කියලා හිතනවාද?
වෙනත් අයට රැකියාවේ ප්‍රශ්න තියෙනවා වගේ රඟපෑම කියන මගේ රැකියාවෙත් එහෙමයි. ඒක සාමාන්‍ය දෙයක්‌. රංගන හැකියාව මට දෙවියන්වහන්සේ දීපු දායාදයක්‌ කියලයි මම හිතන්නේ. ඒක පැත්තකින් තියන්න සූදානම් නැහැ.

  • රංගනයෙන් ඔබ ලබන්නේ තෘප්තියක්‌ විතරද?
මම හරි ආසයි හොඳ යමක්‌ කරලා සතුටුවෙන්න පුළුවන්නම්. එතැනින් එහාට මුදල් ගැන හිතන්නේ නැති අවස්‌ථාත් තිබෙනවා. මොකද ඒ චරිතවල තිබෙන සාර්ථක බව නිසා. නමුත් අද දවසේ බොහෝ දෙනා හොයන්නේ දෙබස්‌ කියන නළු නිළියන්. හරියට නිකං ගිරවා වගේ අඬන්න ඕනෑද කියලා අහල අඬනවා. මෙතැනට තමයි නිර්මාණ කලාව වැටිලා තිබෙන්නේ. අපිව සම්බන්ධ කරගෙන එවැනි නිර්මාණ කරන්න අමාරුයි.

  • දමිතාගේ හැකියාවෙන් අද දවසේ කවුරුත් වැඩක්‌ ගන්නේ නැහැ කියලද කියන්නේ ?
අවංකම කිව්වොත් අද කාලේ මගේ හැකියාවෙන් වැඩක්‌ ගන්නේ නැහැ.

  • සැබෑ ජීවිතයේ රඟපාන පෙම්වතියගේ චරිතය ගැන කතා කරන්න අකමැතිද?
අපොයි නැහැ. සැබෑ ජීවිතයේ මම පෙම්වතියක්‌. අපේ පෙම් කතාවට වයස අවුරුදු අටක්‌ විතර වෙනවා. එය බොහොම විවෘතව හැමදාම කියපු දෙයක්‌. අපි දෙන්න බොහොම හොඳින් ආදරයෙන් ඉන්නවා.

  • ඉතිං හැමදාම ආදරය කරමින් ඉන්නද හදන්නේ ?
ඔය අහන්නේ විවාහය ගැන නේ.

  • ඔව් ?
මගේ කේන්දරයේ තිබෙනවා විවාහය ප්‍රමාද වෙනවා කියලා. එයත් සමග විවාහය ටිකක්‌ පරක්‌කු වෙයි.

  • කේන්දරය ගොඩක්‌ විශ්වාස කරනවා වගෙයි ?
කේන්දරය 100% ක්‌ විශ්වාස කරනවා නොවෙයි. නමුත් මගේ ජීවිතයේ කේන්දරයට කියපු ගොඩක්‌ දේවල් සිද්ධ වුණා. එතකොට ඒ ගැනත් පොඩ්ඩක්‌ හිතන්න වෙනවානේ.

  • නක්‍ෂත්‍රය ගැන පොඩි බයක්‌ තියෙනවා නේද ?
ඇත්තටම බයක්‌ තියෙනවා. මොකද දන්නවද කේන්දරය බලල කිව්ව ගොඩක්‌ දේවල් ඒ විදිහටම සිද්ධ වුණ නිසා.

  • කට කතා ගැන දමිතා මොකද හිතන්නේ ?
අපේ රටේ මිනිස්‌සුන්ට වෙන වැඩ නැහැ. මොකද අනුන්ගේ දේවල් හොයන අය වැඩියි. හැබැයි මගෙත් එක්‌ක කවුරුවත් ඕපදූප කියන්න එන්නේ නැහැ. ඒකට හේතුව මම ඒවා අහන්න සූදානම් නැහැ. මට මොනවා හරි කිව්වොත් අහන දෙයක්‌ තමයි දැකල තියෙනවද කියලා. කලා ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්න පිරිසත් එහෙමයි. 

20 වන ඉරිදා දිවයින පුවත්පතින් උපුටා ගැනීමකි.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...