අපි මෙගාවලට විකිනිලා නැහැ
මීනා කුමාරි
චාරුනී උත්සාහ දරන්නේ එකම පුතු සාලියට කෙසේ හෝ තම එකම අයියාගේ දුව සංසලාව විවාහ කර දෙන්න. නමුත් ඒ යෝජනාවට සංසලා විරුද්ධයි. ඒ සංසලා ධනුකට ආදරය කරන නිසා. අවසානයේ චාරුණීගේ උත්සාහය ජයගනීවිද? ඒ මේ දිනවල වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් බොඳ මීදුම් ටෙලිනාට්‍යයේ කතා සාරංශයක්. සතියේ දින පහ පුරාවට විකාශය වන බොඳ මීදුම් හි චාරුණීගේ චරිතයට ජීවය දෙන මීනා කුමාරි සොයා පසුගිය දිනක අපි බොඳ මීදුම් රූගැන්වෙන සාලියගේ නිවසට ගොඩවැදුණා.
- චාරුනී ඇයි පුතාව ඔයතරම් සුද්ද කරන්නේ?
ඕනම අම්ම කෙනෙක් තමන්ගේ දරුවන්ට ආදරෙයි. ඒ නිසා තමන්ගේ පුතා කරන වැරදි ගැන ප්‍රසිද්ධියේ කතා කරන අවස්‌ථා අඩුයි. වැරදි වහලා පුතා හරියි කියලා තමයි කතා කරන්නේ. ඒ නිසා සාලිය කරන වැරදි වහලා තමයි මටත් කතාකරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම නොකළොත් ඒක අපේ පවුලටත් හොඳ නැහැනේ.
- නමුත් මවක් හැටියට ඒ ක්‍රියාව වැරදියි නේද?
අම්මා පෞද්ගලිකව කවදාවත් පුතා හරියි කියන තැන නැහැ. ඒ නිසා පුතාව තනිකරලා කවදාහරි දවසක ඒ වැරදි හදාගනියි කියලා අවවාද කරනවා. ඒත් ඒක ප්‍රසිද්ධියේ කරන්න බැහැ. එතකොට හැමෝම ඉදිරියේ එයා අපහසුතාවයට පත්වෙනවා. චාරුනීටත් වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක්.
- සැබෑ ජීවිතේදි මවක් හැටියට දුවගේ වැරදි වහන්නෙත් ඒ විදිහටමද?
චාරුනීට ඉන්නෙ පිරිමි දරුවෙක්. නමුත් මට ඉන්නේ දුවෙක් නිසා චාරුනීට වගේ දරුවාගේ වැරදි සමාජයෙන් වහන්න වෙයි කියලා හිතන්නේ නැහැ. අම්මා කෙනෙක් හැටියට මගෙ දුවට නිතරම මම අවවාද දෙනවා. එයා එයාගේ වයස් සීමාවන් එක්‌ක ඒවා තේරුම් අරගෙන ගමන් කරාවි. ඒ වගේම තමයි මම ආගම දහම හොඳින් අදහනවා. කුඩා කාලෙ සිටම ඒ නැඹුරුව දරුවටත් මම දීලා තියෙනවා.
- චාරුනී දේපොළවලට ගොඩක් ආසයි නේද?
චාරුනීට සහෝදරයෙකුට කියලා ඉන්නේ මාලියද්ද අයියා විතරයි. චාරුනී කැමති නැහැ පරම්පරාවෙන් එන දේවල් පිටතට යවන්න. එයා හැම තිස්‌සෙම හිතන්නේ අයියගෙ දේ කියන්නේ තමන්ගේ දේවල් කියලා. ඒ නිසාම තමයි තමන්ගේ දුවෙකුට වගේ සංසලාට එයා ආදරේ.
- ඇත්තටම චාරුනී සංසලාට ආදරෙයිද?
ඔව්. ඒ නිසා තමයි තමන්ගේ එකම පුතාට සංසලා දුවව බන්දලා දෙන්න හදන්නේ.
- එතකොට දේපොළවටල මීනාගේ තියෙන කැමැත්ත?
පවුලක් හැටියට පරම්පරාවෙන් තමන්නට දෙයක් ලැබෙනවනම් මමත් කැමතියි. මොකද දරුවෝ හැටියට ඒවා ආරක්ෂා කිරීම අපේ යුතුකමක් නිසා.
- මීනා කියන ගැහැනිය තුළ තියෙන සිතුවිලි මොනවගේද?
කිසිම දෙයක් ගැන දැඩි ආශාවක් මගෙ හිතේ නැහැ. ඕනම දෙයක් ගැන මධ්‍යස්‌ථව තමයි හිතන්නේ. පුළුවන් හැම අතින්ම සහෝදරයින්ට උදව් කරනවා. සමාජයට මගෙන් ඉටුවිය යුතු යුතුකම් හැම එකක්‌ම මම ඉටු කරනවා.
- ඇයි මේ මෙගාවලට විකිණෙන්නේ?
විකිණෙනවා කියන නමට මම කැමැති නැහැ. ආර්ථික රටාවන් එක්‌ක බිහිවෙන නිර්මාණවලට අපට එකතුවෙන්න සිද්ධ වෙලා තියෙනවා. මම රංගනයට කවදත් ආදරෙ. ගුණාත්මක, විටිනාකමක් තියෙන ආදර්ශවත්, වින්දනාත්මක නාට්‍යයක් ප්‍රේක්ෂකයාට දෙන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට ආදරේ කරන ප්‍රේක්ෂකයා වෙනුවෙන් කරන යුතුකම තමයි ඒක.
- දැන් අම්මා කියන චරිතයටම සීමාවෙලා නේද?
ලංකාවේ පළමු මෙගා නාට්‍යය වසූදාගේ චරිතය රඟපෑවේ මම. අදටත් බොහෝ දෙනෙක් කතා කරන්නේ වසූදා කියලා. බිහිවෙන නිර්මාණත් එක්‌ක වැඩිහිටි චරිතවලට තමයි කතා කරන්නේ. ඒ වගේම සාමාන්‍ය ජීවිතේදි ගතකරන චරිතය රඟපාන්න ලැබෙනවනම් කියන අදහසත් හිතේ තියෙනවා.
- පෙම්වතියකගේ චරිතය රඟපාන්න බැරිද?
ඒක තීරණය කරන්නේ අධ්‍යක්ෂවරු සහ ප්‍රේක්ෂකයින් තමයි. මට නම් රඟපාන්න පුළුවන්.
- දැන් ක්‍ෂෙත්‍රයට ඇවිත් කොච්චර කල්ද?
අවුරුදු විසි හතරක් විතර.
- එදා ටෙලිනාට්‍යයි අද ටෙලිනාට්‍යයි අතර වෙනස දකින්නේ කොහොමද?
එදා නිර්මාණ බිහිවුණේ බොහොම කලාත්මකව කාලය උපරිම ප්‍රයෝජනයට අරන් නිවිසැණසිල්ලේ. හැම දේටම කල්තියා සූදානමක් තිබුණා. ඒ අතින් ගත්තහම අද නිර්මාණ හැල්මේ දුවන ගතියක් තියෙනවා. ඒ නිසා එදාට වඩා අද නිර්මාණවල ගුණාත්මක අතිත් යම්කිසි අඩුවක් තියෙනවා.
- ඔබ රංගනයෙන් එක්‌වුණු ඉන්දියානු චිත්‍රපටක් පසුගිය දිනවලදී තිරගත වුණා?
ඔව්, ජාත්‍යන්තර සිනමා සම්මානලාභී සාජීන් කරූන්ගේ "කුට්‌ටි ශ්‍රාන්ක්" චිත්‍රපටයට තමයි මම සම්බන්ධ වුණේ. ඔහුගේ චිත්‍රපටයකට සම්බන්ධ වීම ඇත්තටම තාමත් මට හීනයක්. හේතුව ඔහු 1989 අධ්‍යéණය කරපු පරවි චිත්‍රපටය නරඹද්දි මම ප්‍රසිද්ධ වේදිකාවට පය තැබුවා විතරයි. ඒත් කවදාවත් ඔහුගේ චිත්‍රපටයක රඟපාන්න අවස්‌ථාවක් ලැබෙයි කියලා හිතුවේ නැහැ.
- ලාංකීය සිනමා නිළියක් ලෙසට ඒ ලැබුණු අවස්‌ථාව ගැන මොකද හිතෙන්නේ?
කලා ජීවිතේ ලබපු ලොකු අත්දැකීමක් සහ අධ්‍යාපනයක්. රංගන ශිල්පිණියක් හැටියට ඒ අතින් මම වාසනාවන්තයි කියලා හිතනවා.
0 comments:
Post a Comment