Sunday, March 20, 2011

ඩිල්ෂාන්ට ලොකු වෙනසක්‌ කරන්න පුළුවන්

ලෝක කුසලානය ගැන මංජුලා කතා කරයි.

ක්‍රිකට්‌ කියන්නේ මේ දවස්‌වල ප්‍රධාන මාතෘකාව. මොකද ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන නිසා. මෙහිදී අපේ රට ගැනත් ලොකු විශ්වාසක්‌ තබාගෙන සිටිනවා මෙම කුසලානය හිමිකර ගනී කියලා. ඩිල්ෂාන් කියන්නේ මෙවර එම ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සාධකයක්‌. ඉතිං ඩිල්ෂාන්ගේ මේ සාර්ථකත්වයට ඔහුගේ බිරිඳ වන මංජුලා මෙම ලෝක කුසලානය අබියස සිට මොනවාද කියන්නේ කියලා දැනගන්න අදහස්‌ කළා.
  • මංජුලා ඔයා මොන වගේ සහායක්‌ද ඩිල්ෂාන්ට මේ වෙලාවේ ලබාදෙන්නේ ?
මට හැකි පමණින් සහාය ලබාදෙනවා. මේ වෙලාවේ ක්‍රීඩකයකු විදිහට ඩිල්ෂාන්ට හොඳ මානසිකත්වයක්‌ තිබිය යුතුයි. ඒ වගේම හොඳ පවුල් පසුබිමකුත් තිබිය යුතුයි. අපිත් සමග එකට සිට ක්‍රීඩා කරන්න ඔහු බලාපොරොත්තු වෙනවා. ඉතිං මට පුළුවන් හැම වෙලාවකදීම ඔහුත් සමග සිට ඔහුගේ මානසිකත්වය හොඳ මට්‌ටමක පවත්වාගෙන යන්න කටයුතු කරනවා.

  • ඩිල්ෂාන් පිටියේ දී පන්දුවට පහර දෙනවිට මොනවගේ හැඟීමක්‌ද ඔබට ඇතිවෙන්නේ ?
ඒ අවස්‌ථාව නම් වචනයෙන් විස්‌තර කරන්න අමාරුයි. මගේ ස්‌වාමිපුරුෂයා හොඳින් ක්‍රීඩා කරලා ලකුණු අතරට එනවා නම් ඒ ගැන මට ලොකු සතුටක්‌ තිබෙනවා. ආරම්භක පිතිකරුවෙකු විදිහට ඩිල්ෂාන් ලකුණු අතරට පිවිසුනොත් එය කණ්‌ඩායමේ ජයග්‍රහණයට වුණත් බලපාන්න පුළුවන්. මම හැමතිස්‌සේම එයාට කියන්නේ කලබලයෙන් පන්දුවට පහර දෙන්න එපා කියලා. එයා ගොඩක්‌ ආසයි හතරේ පහරවල් ගහන්න. මම පිටියේ ඔහු පහරදෙන විට හරි කලබලයෙන් තමයි බලාගෙන ඉන්නේ. මට බයේ බෑ ඔහුගේ කලබලවීමෙන් ඉක්‌මනට දැවී යයිද කියලා.

  • ඩිල්ෂාන් විතරක්‌ ලකුණු අතරට ආවොත් ඇති කියලා හිතනවාද?
තරගයකදී ඩිල්ෂාන් විතරක්‌ ලකුණු අතරට ඇවිත් හරියන්නේ නැහැ. නමුත් හොඳ ආරම්භයක්‌ ලැබුණොත් විශාල ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. ඒ වගේම එක ලකුණ වුණත් වටින අවස්‌ථා තිබෙනවා. කණ්‌ඩායමේ සියලුම දෙනාගේ එකමුතුව සාර්ථක ජයග්‍රහණයට බලපානවා. මේ වෙලාවෙ නම් හැම දෙනාම හොඳ මට්‌ටමක ඉන්න ඕනෑ.

  • මංජුලා ඩිල්ෂාන්ට උපදෙස්‌ එහෙම දෙන්නෙ නැතිද?
මං ක්‍රිකට්‌ මැච් බලන්න ගත්තෙ ඩිල්ෂාන් සමග විවාහ වුණාට පස්‌සෙ. ඉතිං මම දකින අඩුපාඩු ඔහුට කියනවා. කොහොමටත් එයා ක්‍රීඩා කරන විලාසයක්‌ තිබෙනවා. හැබැයි මම නම් එයා ටිකක්‌ වේගයෙන් පන්දුවට පහරදෙනකොට බයයි. මොකද ඩිල්ෂාන් තමන් ගැන හිතලා ක්‍රීඩා කරන්නේ නැහැ. කණ්‌ඩායම ගැන නිතරම හිතනවා. මම හැමතිස්‌සේම කියන දෙයක්‌ තමයි ප්‍රවේශමෙන් පහරදෙන්න කියලා.

  • ඩිල්ෂාන් ලෝක කුසලානය ගැන මොනවද කියන්නේ ?
එයාට ලොකු විශ්වාසයක්‌ තිබෙනවා අපිට කුසලානය දිනාගන්න පුළුවන් කියලා. එයත් උපරිමයෙන් තමන්ගේ වැරදි හදාගෙන ක්‍රීඩා කරනවා. ඒ වගේම ප්‍රේක්‍ෂකයන්ගේ ප්‍රතිචාර ගැනත් ඩිල්ෂාන් ලොකු බලාපොරොත්තුවක්‌ තියෙනවා. ඔවුන්ගේ ආදරය ඔහුට වටිනවා. හැබැයි ඔහු නම් කියන්නේ උත්සාහය තිබෙනවා නම් දිනන්න පුළුවන් කියලා.

  • මේ වෙලාවේ ඔහුගේ මානසිකත්වය මොන වගේ මට්‌ටමකද තිබෙන්නෙ ?
තරගයකට මුහුණ දෙන අවස්‌ථාව අනුව එය වෙනස්‌ වෙනවා. ජය පරාජය වන අවස්‌ථාවලදී ඩිල්ෂාන්ගේ වගේම අනෙක්‌ ක්‍රීඩකයන් මානසිකව යම්කිසි පීඩනයකට ලක්‌වෙනවා. නමුත් මම හිතනවා තරගයක්‌ පරාජය වුණාට දුකක්‌ නැහැ කියලා. මොකද වැරදි හදාගෙන ඉදිරියට යන්න පුළුවන් නිසා. ඒ කොහොම වුණත් ඔහු නම් කියන්නේ අපි අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනවා කියලා.

  • මංජුලා තරග නරඹන්න යන්නේ නැතිද ?
අනිවාර්යයෙන්ම යනවා. කාලෙකට පස්‌සෙයි ලෝක කුසලාන තරගාවලියක්‌ නරඹන්න ලැබෙන්නෙ. ඒ වගේම තමන්ගේ ස්‌වාමියා ක්‍රීඩා කරන තරග නරඹන්න නොගිහින් ඉන්න පුළුවන්ද?. මම දරුවන් දෙදෙනකුගේ මවක්‌. මට පුළුවන් හැම අවස්‌ථාවකදීම තරග නරඹන්න යනවා. මේ වෙන කොටත් මම හම්බන්තොට තරගය නරඹන්න ගියා. අපිට ලොකු බලාපොරොත්තුවක්‌ තිබෙන නිසා මේ වෙලාවේ ඔවුන් සමග සිටිය යුතුයි.

  • පන්දුවට පහරදෙන්න අමාරුම කාටද කියලා කිව්වේ නැතිද?
එහෙම මට කියලා නැහැ. එයා ඉස්‌සර නම් කිව්වා හිටපු වේග පන්දු යවන වසීම් අක්‍රම් කියලා. ඒ ඇරෙන්න මේ ලෝක කුසලානයේ පන්දු යවන්නන් ගැන මට කියලා නැහැ. හැම කණ්‌ඩායමක්‌ ගැනම බැරෑරුම්ව සිතිය යුතුයි කියලා නිතරම කියනවා.

  • ඩිල්ෂාන්ගේ ක්‍රීඩා විලාසය ගැන රටම බලාගෙන සිටිනවා. මොකද හිතෙන්නෙ ඒ ගැන ?
මට ලොකු ආඩම්බරයක්‌. ලෝකයේම කැපී පෙනෙන ක්‍රීඩකයෙකුගේ බිරිඳක්‌ වීම ගැන මම ඇත්තටම සතුටුයි. ඩිල්ෂාන් හොඳට ක්‍රීඩා කරනවා හැමෝම බලනවා කියන්නේ මේ වෙලාවේ ඔහු ප්‍රධාන සාධකය වෙලා තිබෙන නිසානේ. එය අපේ රටටත් ලොකු ආඩම්බරයක්‌. ඩිල්ෂාන් ආන්දෝලනාත්මක චරිතයක්‌ වුණේ දක්‍ෂතාවය මතයි.

  • මංජුලා තරග නරඹන්න ගියහම වැඩිපුර කාත් සමගද ඉන්නේ ?
මම වැඩිපුර කතාබහ කරන්නේ නැහැ. තනියෙන් තමයි තරග නරඹන්න යන්නෙ. මගේ දෙමව්පියෝ සහ ඩිල්ෂාන්ගේ දෙමව්පියෝ සමග තමයි ගොඩක්‌ වෙලාවට මම ඉන්නේ. අනික ඔහුගේ අඩුපාඩු මම කාත් සමගවත් විවේචන කරන්න යන්නේ නැහැ. ඒකට හොඳම කෙනා තමයි ඩිල්ෂාන්. ඒ හින්ද මම ඔහුත් සමග විතරයි ඒ ගැන කතා කරන්නෙ. ඒ ඇරෙන්න මම වෙන කාත් සමගවත් කතා කරන්න යන්නෙ නැහැ.

  • ඔයා වැඩිපුරම ආශ්‍රය කරන්නේ අපේ කණ්‌ඩායමේ කුමන ක්‍රීඩකයාගේ බිරිඳද?
මම ඩිල්ෂාන්ගේ බිරිඳ විදිහට මාත් සමග කතා කරන ඕනෑම කෙනකු සමග කතා කරනවා. පෞද්ගලිකව දන්න හඳුනන කෙනෙක්‌ නැහැ.

  • අපිට ලෝක කුසලානය දිනාගන්න පුළුවන්ද ?
අනිවාර්යයෙන්ම.

  • පසුගිය දවස්‌වල ඩිල්ෂාන් ලකුණු අතරට ආවේ නැහැ. ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු ඩිල්ෂාන් ඉටුකළේ නැහැ කියලා හිතන්නේ නැතිද ?
ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු තවම ඉටුවුණේ නැහැ කියලා මම හිතන්නේ නැහැ. මම දන්න විදිහට එයාට තරගයක තීරණයක්‌ වෙනස්‌ කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්‌. පසුගිය දවස්‌වල ලකුණු අතරට ආවේ නැහැ කියල කියන්නත් අමාරුයි. කොහොමටත් ඩිල්ෂාන් මේ තරගාවලියේ ලොකු වෙනසක්‌ කරයි කියලා හිතනවා. 


13 වන ඉරිදා දිවයින පුවත්පතින් උපුටා ගැනීමකි.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...