Sunday, March 20, 2011

ඔහු අපේ කාලයේ වීරයෙකි

moonath
අපේ කාලයේ වීරයාණෙනි මම නුඹට නිවන් සුව පතමි.

එය ඉකුත් මානුෂීය මෙහෙයුමේ අවසන් සති කිහිපය විය. වීරෝදාර රණවිරුවන්ගේ දැඩි ප්‍රහාර හමුවේ පසු නොබලා පලා යමින් සිටි ත්‍රස්‌තවාදීන් සිටියේ මොහොතක්‌ පාසා සිය සටනේ අවසානයට ළඟා වෙමිනි.

මේ අතරේ දිනක්‌ ඉදිරි පෙරමුණේ සටනේ නිරතව සිටි විරුවන් පිරිසකගේ නෙත ගැටුනේ අමුතුම ආකාරයේ දසුනකි.

එක පොදියට පලා යමින් සිටි කොටි ත්‍රස්‌තවාදීන් කණ්‌ඩායමක්‌ පුදුකුඩිඉරිප්පු මහ කැලය මැදින් වූ මාවතක්‌ දිගේ දැවැන්ත කාලතුවක්‌කුවක්‌ ඇදගෙන යමින් සිටිති.

මෙය දුටු වහා සටන් පෙරමුණේ විරුවෝ එය ඊට කිලෝමීටර් කිහිපයක්‌ පසුපසින් වූ හමුදා කඳවුරු වෙත දැනුම් දෙන්නට වූහ.

තවත් ගතවූයේ විනාඩි කිහිපයක කාලයකි. ඇසුරු සැණෙකින් අහසට නැගුණු ගුවන් හමුදාවේ ඔත්තු බලන යානාවක්‌ අදාළ ප්‍රදේශය වෙත ඉගිල යන්නට වූයේ කොටින්ගේ මේ බොළඳ ප්‍රයත්නය සහමුලින්ම අවසන් කිරීමේ මූලික උපක්‍රමයක්‌ ලෙසිනි.

එසේ ගිය යානාවෙන් ඊළඟ මොහොතේ සිට කොටි ත්‍රස්‌තයන් ඇදගෙන යමින් තිබූ කාලතුවක්‌කුවේ සමීප ඡායාරූප ආරක්‍ෂක හමුදා කඳවුරු වෙත ලැබෙන්නට විය.

එදා උතුරු සටන් බිමේ එසේ වෙද්දී ලැබුණු විධානයකට අනුව මොහොතක පමාවක්‌වත් නොතබා කටුනායකින් ගුවන්ගත වූ ගුවන් හමුදාවේ කෆීර් ප්‍රහාරක ජෙට්‌ යානා දෙකක්‌ ගුවන විනිවිද උපරිම වේගයෙන් පුදුකුඩිඉරිප්පු කොටි අඩවියට ළඟා වෙමින් තිබිණි.

මේ අතරේ එම ප්‍රහාරක යානාවන්හි ශබ්දය ඇසීමත් සමඟ සිදු වන්නට යන දේ ඉවෙන් මෙන් වටහා ගත් කාලතුවක්‌කුව ඇදගෙන යමින් සිටි ත්‍රස්‌තවාදීහු එය කැලය තුළට ගෙන සැඟවෙන්නට වූහ. එහෙත් ත්‍රස්‌තයන් ප්‍රමාද වූවා වැඩි විය. ඒ වන විටත් මෙය ප්‍රහාරක යානා නියමුවන්ගේ නෙත ගැටී තිබිණි.

ගෙවී ගියේ තවත් තත්ත්පර කිහිපයකි. සැණෙකින් මුළු පුදුකුඩිඉරිප්පු කොටි අඩවියම දෙදෙරවමින් ඊයක මෙන් පහතට ඇදී ආ එක්‌ ප්‍රහාරක යානාවකින් කොටි ඉලක්‌කය වෙත ප්‍රහාරයක්‌ එල්ල කෙරිණි. එහෙත් මේ ප්‍රහාරයෙන් විනාඩි කිහිපයක්‌ ගිය තැන ඒ වන විටත් ගුවනේ කැරකැවෙමින් සිටි අනෙක්‌ ප්‍රහාරක යානාවේ නියමුවා දුටුවේ කිසිදු උපද්‍රවයකින් තොරව ත්‍රස්‌තයන් යළි කාලතුවක්‌කුව ඇදගෙන යමින් සිටින අයුරුය. 

දෙවරක්‌ නොසිතූ හේ මොහොතකින් තම යානාව වටයක්‌ කරකවා පහතට ඇදී එන්නට වූයේ කරණමක්‌ද ගසමිනි. එසේ ඉහළ අහසේ සිට දිවි පරදුවට තබා අඩි දහස්‌ ගණනක පිම්මක්‌ පනිමින් පොළව දෙසට ඇදී ආ එම ප්‍රහාරක නියමුවා ත්‍රස්‌තයන්ට සිතන්නටවත් ඉඩක්‌ නොතබාම කාලතුවක්‌කුව ඉලක්‌ක කර දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල කරනු ලැබීය.

ඊළඟ මොහොතේ කේලමා හරහා මෙය නිරීක්‍ෂණය කරමින් සිටි ඉහළ හමුදා ප්‍රධානින් දුටුවේ ගුවනේ සිට විකුම් පෑ ඒ වීරෝදාර රණවිරුවා එල්ල කළ ප්‍රහාරයෙන් පුදුකුඩිඉරිප්පු මහ කැලය මැද ගිනි ගෙන දැවෙන කොටින්ගේ කාලතුවක්‌කුවය. එපමණක්‌ද නොව එම කාලතුවක්‌කුව ඇදගෙන යමින් තිබූ කොටින්ගේ ට්‍රැක්‌ටරයක්‌ද සුන්බුන් ගොඩක්‌ බවට පත්ව ගිනි ගෙන දැවෙමින් තිබිණි.

මේ සිද්ධියෙන් පසු ඒ දිනය ගෙවී යන්නට විය. එහෙත් එදා රාත්‍රි රටේ මාධ්‍ය තුළ මේ ගුවන් ප්‍රහාරයට ලැබී තිබුණේ ප්‍රධාන තැනකි. සෑම මාධ්‍යයකම මුල් තැනක්‌ එය දෙමින් පළ කෙරන්නට විය. 

රූපවාහිනී යන්ත්‍ර අසලට රොක්‌ වූ ජනතාව ඒ රැයේ මෙම ප්‍රහාරය නැරඹුවේ එල්ටීටීඊයේ පරාජය හමුවේ සිතට නැගුණු සොම්නස පරයා හදවත් තුළ තෙරපුණු දේශප්‍රේමී හැඟුමකින් යුතුව මුළු ත්‍රිවිධ හමුදාවටම සෙත් පතමිනි.

එහෙත් උපන් බිම වෙනුවෙන් මේ වික්‍රමය කළ වීරෝදාර රණවිරුවා කවුරුන්ද යන්න ඔවුහු කිසිවකුත් එදා දැන නොසිටියහ. ඔහු කවුද? 

හේ නමින් පියසර ලුතිනන් මොනාත් පෙරේරා නම් විය. එදා අති දක්‍ෂයකු ලෙස සාර්ථක ගුවන් ප්‍රහාරයක්‌ එල්ල කර ඉලක්‌කය අකුරට සපුරා ගනිමින් එම ත්‍රස්‌ත කාලතුවක්‌කුව වනසා දැමූ මොනාත් පෙරේරා නම් වූ ලක්‌ මවගේ මේ සුජාත පුත්‍රයා අතින් ඉකුත් මානූෂීය මෙහෙයුම් සමයේ කොටි ත්‍රස්‌තයන්ගේ අවසානය ලොවටම පෙන්වා මේ අන්දමින් ත්‍රස්‌ත ඉලක්‌ක වනසා දැමුණු අවස්‌ථා රාශියක්‌ම තිබිණි. 

ඉන් බොහොමයක්‌ අති බිහිසුණු අත්දැකීම්ද සමග වූවා වේ. මා එසේ කීවේ එය මේ රණවිරුවාගේ මුවින්ම අසා දැනගැනීමට තරම් විරල වාසනාවක්‌ ත්‍රස්‌තවාදය නිමා කෙරුණු මානුෂීය මෙහෙයුම අවසානයේ එක්‌තරා දිනෙක මට හිමි වූ බැවිණි.

එල්ටීටීඊ ත්‍රස්‌තවාදය මේ බිමෙන් අතුගා දැමුණු ඒ බිහිසුණු සටනින් පසු මෙරට ජනතාව විඳි නිදහසේ සතුට සමග කාලය සෙමෙන් ගෙවී යන්නට විය. 

මේ අතරේ දිනක්‌ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ හිටපු ගුවන් හමුදාපති වත්මන් ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී එයාර් චීප් මාෂල් රොෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් රට සුරැකීමට කෙරුණු ඒ බිහිසුණු සටනේදී ගුවනේ දස්‌කම් පෑ අප කතා නායකයාද ඇතුළත් සියලු විරුවනට උපහාර දැක්‌වීමේ ගාම්භීර උත්සවයක්‌ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. 

එය මාධ්‍යයටද විවර වූවක්‌ වී තිබූ බැවින් එදා ඊට එක්‌ වීමට තරම් මේ සටහන තබන මමද භාග්‍යවන්තයකු වීමි.

සෙසු මාධ්‍ය සගයන්ද සමග අපි එහි ගියෙමු. ත්‍රස්‌තවාදය නැසූ සටන හමුවේ ගුවන දෙවනත් කළ විරුවෝ තම තමන් දස්‌කම් පෑ යානා අසලට වී පෙළ ගැසී සිටිති. සැබැවින්ම ඔවුන් දුටු මොහොතේ අප සියල්ලන්ගේ සිත්වලට නැගුණේ වචන කළ නොහැකි තරමේ ආඩම්බරයකි.

සොඳුරු තාරුණ්‍යයට පා තබා සිටි ඔවුන් කඩවසම්ය. එහෙත් ඒ මුහුණුවල තිබුණේa කිසිදා ඈතට නොයන තිරසාර වූ එඩිතර හැඟීම්ය.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ගුවන් හමුදාපතිවරයා මේ විරුවන්ට සුබ පතමින් පෙළින් පෙළට යමින් සිටිති. මේ අතරේ එක්‌තරා තැනකදී අව් කණ්‌ණාඩි සඟලක්‌ද පැළඳ කෆීර් යානාවක්‌ අසලට වී පපුව ඉදිරියට දමා ගාම්භීර ඉරයව්වකින් සිටි එක්‌ විරු සොයුරෙකු මා නෙත ගැටිණි.

සිහින් සිනහවකින් පිරි සොඳුරු තාරුණ්‍යයේ වූ ඒ මුහුණ දැකුම්කලුය. එහෙත් එහි තිබූ පෞරුෂය අහසටත් ඉහළින් විය. අපේ ඡායාරූප ශිල්පී දිමුතු ප්‍රේමරත්නද මා අසල සිටී. දෙවරක්‌ නොසිතාම මම දිමුතුත් සමගම ඔහු වෙත සමීප වූයෙමි. 

ඒ අන් සිකිවකුත් නොව මා ඉහත කී මොනාත් පෙරේරාය. මම එදා මේ වීරයා සමග දොඩමළු වූයෙමි. සැබැවින්ම ඒ වීර කතා අසා සිටින්නටත් පුදුමය. ඇතැම් විට ඔහුට සවන් දී සිටියදී මොනාත්ලා එදා මේ රට වෙනුවෙන් කර තිබූ කැපවීම හමුවේ මටම නොදැනී මා නෙත් සියුම් කඳුළකින් තෙත් වූ අවස්‌ථාද විය. 

"ඉතින් මොනවද තව විස්‌තර... ලැබුණු විරල අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නා අටියෙන් මා දිගටම මොනාත්ව වෙහෙසුවෙමි. අපේ ගුවන් හමුදාව මානුෂීය මෙහෙයුමේදී කළ මෙහෙය ඔහු දිගටම කියාගෙන යයි. එහෙත් එක්‌ තැනකදී මොනාත්ගේ මුහුණේ වූ ඉරියව් හැඟුම්බර වනු මම දුටුවෙමි.

මම ඔහු දෙස උනන්දුවෙන් බැලුවෙමි. එතැන් පටන් එක්‌ සුවිශේෂී කතාවක්‌ මොනාත්ගේ මුවින් ගිලිහෙන්නට විය. 

"අද සමහරු කියනවා අපි කොටින්ට ගහන ගමන් සාමාන්‍ය මිනිස්‌සු ඉන්න තැන්වලට ගැහුව... නිකන් මිනිස්‌සුන්ව මැරුවා කියලා...

ඇත්තෙන්ම මුළු ලෝකෙටම ඇහෙන්න මේ ටික අපිට කියන්න ඕනේ... අපි එහෙම කළේ නැහැ... අපිට විනයක්‌ තිබුණා... මගේ ගැන මමම කිව්වොත් ටාගට්‌ එක ගන්න ගිහින් අන්තිම මොහොතේ අහිංසක මිනිස්‌සු දැකල ජෙට්‌ එක ආපහු හරවගෙන ගිය අවස්‌ථා ඕන තරම් තියෙනවා... අපි හැමෝම එහෙමයි මේ සටන කළේ...

එදා මේ වචන කිහිපය කියන මොහොතේ මේ රටට විණයක්‌ වී තිබූ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නම්ද මොනාත්ගේ මුවින් හැඟීම්බර ලෙස ගිලිහුනි. ඒ විවිධ ෙද්‍රdaහීන් එකල ගුවන් හමුදාවට නගා තිබූ චෝදනා නිසා මොනාත්ලාගේ සිත් දැඩි ලෙස පෑරී තිබූ නිසාම විය යුතුය.

මේ කතා බහේදී රුදුරු සටනේ බොහෝ අත්දැකීම් මොනාත් අප හා පැවසුවේය. අපටම උරුම වූ සොබා දහමේ සිදුවීම් පාඩමට ගෙන සතුරා වැනසීමට මොනාත්ලා "පිළිහුඩු" එසේත් නැති නම් "උකුසු" න්‍යාය ක්‍රියාවට නැංවූ හැටිද හේ අපට කීය.

එසේම හිරුට මුවා වී කොටින්ගේ මිසයිල ප්‍රහාරවලින් බේරී සතුරාට පහර දුන් හැටිද මොනාත් විස්‌තර කළේය. මාත් දිමුතුත් කුඩා කල වැඩිහිටියකුගෙන් වීර කතාවක්‌ අසා රස විඳි පරිද්දෙන් උනන්දුවෙන් ඒ සියල්ල අසා සිටියෙමු.

අවසානයේ මොනාත් ඇතුළු එදා කටුනායකදී අපට හමුවූ විරුවන් හය දෙනකු මාධ්‍ය සගයන් හමුවේ මනරම් ගුවන් සංදර්ශනයක්‌ද පැවැත්වූහ. 

ඒ දසුනේදී අධිවේගී කර් සහ මිග් ප්‍රහාරක ජෙට්‌ යානා පදවාගෙන කටුනායක ගුවන්තොටුපළින් අහසට ගිය මොනාත් ඇතුළු සගයෝ කරනම් ගසා දස්‌කම්පාන අයුරුද අපි විශ්මයෙන් බලා සිටියෙමු. එහිදීත් මොනාත් පෙරමුණේ සිටි බව මට තවමත් මතකය. ඉන් අනතුරුව අපි ඒ විරුවන්ගෙන් සමුගෙන නික්‌ම ගියෙමු. 

එහෙත් මම එදා මොනාත් කී ඒ කතා පසුව "දිවයින"හි සටහන්ද කෙරුවෙමි. කාලය ගෙවී ගියේය. ඒ හමුවීම මතකයෙන් මදින් මඳ ඈත්ව යමින් තිබිණි. ඒත් මොනාත් ඇතුළු විරුවන්ගේ මතකය නම් මා සිතේ සැමදා රැඳී තිබිණි.

ඒ කටුනායක ගුවන් තොටුපළට සමීප ප්‍රදේශයක පදිංචිව සිටින මට සතියකට දෙතුන් වතාවක්‌ කන් බිහිරි කරවමින් නිවෙස උඩින් යන මොනාත්ලා දස්‌කම් පෑ කෆීර් හෝ මිග් ප්‍රහාරක යානාවක හඬ නොවරදවාම ඇසෙන්නට මෙන්ම ඒවා දකින්ටද ලැබුණු හෙයිනි.

පසුගිය අඟහරුවාදා දිනයට හිරු උදා වන්නට වූයේ මේ අතරය. එදිනද රැකියාවට ඒමට නිවසින් පිටත්වූ මට කටුනායකින් අහසට නැගුණු ගුවන් හමුදා ගුවන් යානා රැසක්‌ දකින්නට ලැබිණි. ඒ වහා පසුදාට යෙදී ඇති ගුවන් හමුදා 60 වන සංවත්සරය මගේ මතකයට නැගිණි.

ඔව් මොනාත්ලාට කාලයකට පසු සෙල්ලමක්‌ දැමීමට අවස්‌ථාවක්‌ ලැබී තිබේ. අහසට නැගෙන ගුවන් යානා දෙස බස්‌ නැවතුමේ සිට මඳ වේලාවක්‌ බලා සිටි මම සිතින් එසේ සිතමින් පැමිණි බසයක නැගී ගමන පිටත් වීමි.

පැයක පමණ කාලයක්‌ ගෙවී ගියේය. බසය දැන් සුගතදාස ක්‍රීඩාංගණයට ආසන්න බස්‌ නැවතුමට ළඟා වෙමින් ඇත. ඒ අතරේ අත රැඳි ජංගම දුරකථනය වෙත සුපුරුදු පරිදි පුවත් සඳහන් කෙටි පණිවිඩයක්‌ ලැබෙන්නට විය.

මම එය කියෑවූයෙමි. එහෙත් එහි සටහන්ව තිබුණේ සිහිනෙකින්වත් මා බලාපොරොත්තු නොවූ ෙ€දනීය පුවතකි. කෆීර් යානා දෙකක්‌ හැපී විනාශ වෙලා එහි සටහන්ව තිබේ. උදේ නිවසින් පිටවෙද්දී එක පෙළට ගුවනට නැගි ගුවන් යානාවන්හි දසුන මගේ සිහියට නැගිණි.

ගමනාන්තය වූ බැවින් වහා බසයෙන් බැස ගත් මා ඒ මොහොතේම ගුවන් හමුදාවේ අප මාධ්‍ය සගයා වූ ඇන්ඩි විඡේසූරිය ඇමතුවේය. "ඔව් කතාව ඇත්ත.. නිට්‌ටඹුව පැත්තෙදී වෙලා තියෙන්නේ... තවම වැඩි විස්‌තරයක්‌ නැහැ.

"පයිලට්‌ලට මොකද? මම ඇන්ඩිට තවත් ප්‍රශ්නයක්‌ දැමුවෙමි. "නැහැ තවම හරි විස්‌තරයක්‌ නැහැ. ඇමතුම විසන්ධි විය.

කාර්යාලයට පැමිණි මා ඒ පිළිබඳ තවත් සෙව්වේය. එහෙත් කිසිදු තොරතුරක්‌ නොවේ. තවත් පැයක දෙකක කාලයක්‌ ගෙවී ගියේය. අවසානයේ ඒ අවාසනාවන්ත පුවත දැන ගැනීමට අපට හැකි විය. 

ඔව්. ඒ ඛේදාන්තයෙන් එදා මා සමග දොඩමලු වූ සහෘදයා නැතිනම් ඒ වීරයා එසේත් නැතිනම් ලක්‌ මව සතුරාගෙන් මුදා ගැනීමට දිවි පරදුවට තබා විකුම් පෑ ඇගේ සුජාත පුත්‍රයා මොනාත් මිය ගොසිනි.

1982 වසරේ අවිස්‌සාවේල්ල දෙහිඕවිට ප්‍රදේශයේදී ඩල්සි කුමාරි පෙරේරා සහ චන්ද්‍රසේන පෙරේරා මාපියන්ගේ එකම දරුවා ලෙස උපත ලැබූ මොනාත් ගේ ළමා කාලයෙන් වැඩි කොටස ගෙවී ගියේ දකුණේ ගාල්ල පුරවරයේය.

ගාල්ල මහින්දයේ දීප්තිමත් සිසුවකු ලෙස එහි අධ්‍යාපනය හැදෑරූ මොනාත් පාසල් අවධියේම තමන් තුළ වූ නායකත්වයේ ලකුණු මොනවට විදහා දක්‌වමින් පාසලේ ශිෂ්‍ය නායකයකු මෙන්ම බටහිර තූර්ය වාදන කණ්‌ඩායමේ සැරයන්වරයකුද ලෙස නමක්‌ දිනා සිටියේ සහෝදර සිසුනටද ආදර්ශයක්‌ වෙමිනි.

පාසල් අධ්‍යාපනයෙන් පසු 2004 වසරේ මව් බිම වෙනුවෙන් කැප වී ගුවන් හමුදාවට එක්‌වූ ඔහු පියසර නිලධාරියකු ලෙසින් අධිකාරියට පත් වූයේ 2005 ජුලි මසදීය. 

එතැන් පටන් උපතින් ගෙනා සුවිශේෂී දක්‍ෂතා තුළින් ඉදිරියට ගිය හේ පාකිස්‌ථානයේදී ලත් විශේෂ පුහුණුවකින්ද පසු 2007 වසරේ ජනවාරි මාසයේදී ගුවන් හමුදා කෆීර් බලගණයට එක්‌වී සතුරු බල කඳවුරු හඹා යන්නකු ලෙස නමක්‌ දිනා ගත්තේ උපන් බිම වෙනුවෙන් දිවි පරදුවට තබා කළ සේවය හමුවේය. කෆීර් බලගණයේදී මොනාත් මිතුරන් අතරේ ප්‍රකටව සිටියේ "හෝක්‌" (HAඋණ) යන ආදරණීය නාමයෙනි.

මරණය නියත දහමකි. එහෙත් මොනාත් පෙරේරා නම් වූ මේ අපේ කාලයේ වීරයාගේ මරණය අභිමුව මම මරණයට ශාප කරමි.

ඒ නොපැමිණිය යුතු මොහොතක මරණය මොනාත් සොයා පැමිණි ඇති බැවිනි. එහෙත් රුදුරු මරණයේ යථාර්ථයද එයම වේ.

ඔබ අතට මේ සටහන පත්වන මොහොත වන විට මේ දෙරණේ විරුවන් අතරට එක්‌ව මොනාත් පෙරේරා නම් වූ ඒ යෞවනයා සිය දිවි පරදුවට තබා රැකගත් ලක්‌ මව තුරුලේ සැතපී අවසන්ය. එහෙත් ඒ නාමය මේ ලංකා ධරණී තලය තුළ සදා කල් රැව් පිළිරැව් දෙනු ඇත

අපේ කාලයේ වීරයාණෙනි මම නුඹට නිවන් සුව පතමි.



ඉරිදා දිවයින පුවත්පතින් උපුටා ගැනීමකි.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...